image 9

ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ‘විශේෂ අධ්‍යාපනය’ ආරම්භ කිරීම බ්‍රිතාන්‍ය යුගයේ සිදු වූ අතිශය වැදගත් සිදු වීමකි. එම විශේෂිත අධ්‍යාපනය ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ මිෂනාරිවරුන් විසිනි. එතැන් පටන් සමාජ සේවා කටයුත්තක් ලෙස විශේෂ අධ්‍යාපනය ක්‍රමවත්ව පවත්වා ගනිමින් 1948 දක්වා ඉදිරියට ගෙන යාමට බ්‍රිතාන්‍යයො සමත් වූහ(පෙරේරා,2011:95). ඒ යටතේ බ්‍රිතාන්‍ය පාලන සමය තුළ “රත්මලාන අඳ ගොළු බිහිරි පාසල නමින් ආරම්භ වූයේ ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා කළ ප්‍රථම විද්‍යාලයයි”(https://m.facebook.com:2018). විශේෂ අධ්‍යාපනය ලබා දීම සඳහා සකස් වූ මෙම විද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් බ්‍රිතාන්‍ය යුගයේ ආබාධ සහිත පුද්ගලයන්ගේ ඉතිහාසය පිළිබඳව අංශ ගණනාවක් ඔස්සේ තොරතුරු අනාවරණය කරගත හැකි ය. මෙම විද්‍යාලය ආරම්භ කිරීමේ පසුබිම් කතා ප්‍රවෘත්තියේ කතා නායිකාව වනුයේ මේරි එෆ් චැප්මන් මිෂනාරිවරියයි. ශ්‍රී ලංකාවේ ජීවත් වූ දෘෂ්‍යාබාධිත, ශ්‍රවණාබාධිත සහ කථනාබාධිත පුද්ගලයන්ගේ දුක්ඛිත ජීවිතය පිළිබඳ ව කියාපාමින් චැප්මන් මෙනවිය විසින් 1910 වර්ෂයේ නොවැම්බර් මස 23වන දින “රිවි කිරණ” පුවත්පතට ලිපියක් ලියන ලදී. එම ලිපිය ලක්වාසීන් මෙන් ම බ්‍රිතාන්‍යයයන් අතර ද ප්‍රසිද්ධ විය. චැප්මන් මෙනවිය ලියූ ලිපිය තුළ 1901 වසරේ සිදු කළ ජන සංගණන තොරතුරු ද අන්තර්ගත කර තිබිණ. එම ජන සංගණන තොරතුරු වලට අනුව ගොළු බිහිරි පුද්ගලයන් 3238ක් ජීවත් වූ බවත් ඉන් 1103දෙනෙක් ම වයස අවුරුදු 15ට අඩු දරුවන් බවත් සඳහන් විය(පෙරේරා,2011:16). චැප්මන් මිෂනාරිවරියගේ චතුර කථිකත්වය හා උත්සහය හමුවේ දසතින් ආධාර එකතු වූයේ ශ්‍රී ලංකාවේ ආබාධිතයන් සඳහා වන ප්‍රථම ව්‍යාපෘතිය දියත් කිරීමටය. චැප්මන් මිෂනාරිවරියගෙ අදහස බිහිරි පාසලක් ආරම්භ කිරීම වුවත් ‘තෝමස් ග්‍රේස්’ මහතාගේ අදහසට අනුව අඳ-බිහිරි යන අංශ දෙක සඳහා ම අධ්‍යාපන ආයතනයක් ඉදිකිරීමේ පදනම සකස් විය.

image 7

1912 දී ‘මේරි චැප්මන් මිෂනාරිවරිය’ විසින් ළමයින් 20දෙනෙකුගෙන් ‘රත්මලාන අඳ ගොළු බිහිරි පාසල’ ආරම්භ කර ඇත්තේ ඒ.ජේ.ආර්. ද සොයිසා මහතා පරිත්‍යාග කළ අක්කර පහක භූමිය තුළයි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කළ කණ්ඩායම වූයේ, විදුහල්පති – මේරි එෆ් චැප්මන්, බිහිරි අංශය භාර ගුරුවරිය – කේ.එන්. මේස්, අන්ධ අංශය භාර ගුරුවරිය – ඊ.පී.බෝසර් හා පුහුණු හෙදිය මෙන් ම නිවාස පාලිකාව වූ ලිලියන් මානගේ යන පිරිසයි. මොවුන් විසින් ආබාධිත දරුවන්ට නවාතැන්දීම සඳහා මාසික කුලියට දෙහිවල පිහිටි නිවසක් ලබා ගැණුනේ පවුම් 48ක මුදලකට ය. නමුත් පසු කාළීනව වර් ෂ 1926දී ‘අබ්දුල් ගපූර්’ මහතා මෙම විද්‍යාලයට තවත් අක්කර පහක භූමියක් පරිත්‍යාග කළ අතර මෙම භූමිය තුළ නාන කාමර සහිත නේවාසිකාගාරයන් සහ කුඩා රෝහලක් ඉදි කෙරිණ(පෙරේරා,2011:19). එමඟින් කුලී පදනම මත සපයා ගත් නේවාසික අවශ්‍යතාවය නොමිලයේ සපුරා ගැනීමට අවස්ථාව හිමිවිය. තව ද 1926සිට ම මෙම විද්‍යාලය සඳහා භාවිත කළ වෑන් රථයක් පිළිබඳ ව තොරතුරු සඳහන් වේ(පෙරේරා,2011:44). 1933 සිට එංගලන්ත සභාවේ පාලක මණ්ඩලයක් මඟින් පවත්වා ගෙන යනු ලබන මෙම විද්‍යාලය 1946 දී අන්ධ විද්‍යාලය සහ බිහිරි විද්‍යාලය වශයෙන් පාසල් දෙකක් බවට පත් කෙරිණ. අන්ධ විද්‍යාලය කේ.සී.දසනායක මහතාගේ පාලනයටත් 1924දී රත්මලාන විද්‍යාලයට පැමිණි කාටර් මෙනවිය බිහිරි විද්‍යාලයේ පාලනයටත් නතු විය(පෙරේරා,2011:22,50). මෙම විද්‍යාලයන් දෙකේම නඩත්තුව සඳහා අවශ්‍ය ආධාර අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සැපයූ අතර අරමුදල් හා ගොඩනැඟිලි සඳහා වන ආධාර රාජ්‍ය හා පෞද්ගලික මට්ටමින් ලැබී ඇත. පහසුකම් සහිත විද්‍යාලයක් බවට මෙය දියුණු කිරීමෙන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන විශේෂ අධ්‍යාපනය කෙරෙහි බ්‍රිතාන්‍ය රජය සහ එවක සිටි දානපතියන් විශේෂ අවධානයක් යොමු කළ බව පැහැදිලි ය.

image 4
රත්මලාන අඳ බිහිරි විද්‍යාලයේ පැරණි ගොඩනැඟිල්ලක්

මෙම විශේෂිත පාසල තුළ ගුරු-සිසු අධ්‍යාපන ක්‍රමය සාමාන්‍ය සිසුන් අධ්‍යාපනය හදාරන විද්‍යාලයකට වඩා වෙනස් විය. එම වෙනස් ගුරු-සිසු අධ්‍යාපන ක්‍රමය අවස්ථා කිහිපයක දී සකස් වූ ආකාරය පිළිබඳ ව අනාවරණය කරගැනීමේ දී කරුණු ගණනාවක් හෙළි කර ගැණින. පාලක අනුග්‍රහය ඉතා ඉහළින් පැවති මෙම පාසලේ ගුරු මණ්ඩලය වාර්ෂිකව ලබන වැටුපෙන් 75%ක පමණ මුදලක් ආධාර මුදල් ලෙස නඩත්තුවට ගෙවා ඇත. එසේ ම 1919 වනවිට ළමුන් 18දෙනෙකුට එක් ගුරුවරයෙකු බැගින් පත් කළ අතර පසුව එය ළමුන් 10කට එක් ගුරුවරයෙකු බැගින් පත් කරන ලදි. ආබාධ සහිත දරුවන්ට සාමාන්‍ය දරුවන්ට මෙන් අධ්‍යාපනය හැදෑරීම සිදුකළ නොහැකි නිසාවෙන් වැඩි අවධානයක් සහිත ව ඉගැන්වීම් කටයුතු සිදු කිරීම අවශ්‍ය වන හෙයින් සීමිත පිරිසක් ඉලක්ක කර එක් ගුරුවරයෙකු යටතේ අධ්‍යාපනය ලබාදීම කළ බව මින් පැහැදිලි වේ. ඒ අනුව ආබාධ සහිත දරුවන් වෙනුවෙන් බ්‍රිතාන්‍යය අධ්‍යාපන ක්‍රමයේ පැවති සංවේදීතාවය නිරූපණය කරන අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකි ය.

1923 දී අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ එකඟත්වයෙන් බිහිරි අධ්‍යාපනය පිළිබඳ විභාගයක් පවත්වා සමත් වූවන්ට රජයේ පිළිගත් සහතිකයක් ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරිණි. ශාරීරික විද්‍යාව, මනෝ විද්‍යාව හා කථන පුහුණුව ආදි විෂයන් අළලා මෙම විභාගයට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර සකස් කරන ලද්දේ 1910දී මෙරටට පැමිණි මිස්කින් මෙනවියයි. උත්තර පත්‍ර පරීක්ෂාව අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සිදු කර ඉන් ලබා දුන් සහතිකය උපයෝගී කරගනිමින් ගුරු වෘත්තියට බඳවා ගැනීම සහ වැටුප් ගෙවීමට සිදු කරන ලදී. ‘රත්මලාන අඳ ගොළු බිහිරි පාසල’ සඳහා බඳවා ගන්නා ගුරුවරුන්ටත් සාමාන්‍ය ගුරුවරුන්ට හා සමාන සුදුසුකම් තිබිය යුතුය යන නීතියත් සමඟ 1932දී ඉහත වැඩපිළිවෙළ අහෝසි කෙරිණ. මෙම නීතිය පැනවීමට හේතු වූයේ සාමාන්‍ය පාසල් වල ගුරුවරුන්ට වඩා අඩු සුදුසුකම් සහිත පිරිස් මෙම පාසලට බඳවා ගැනීමයි. නව නීතිය යටතේ 1933දී විශේෂ අවශ්‍යතා සහිත පාසල සඳහා වන ප්‍රථම පත්වීම ලබා ගත්තේ කේ.සී. දසනායක මහතා විසිනි(පෙරේරා,2011:19). සුදුසුකම් සම්පූර් ණ කළ මෙතුමා රත්මලාන පාසලට පත්වීම් ලද ප්‍රථම ලාංකික විදුහත්පතිවරයා ද විය. තව ද සිසුන් සඳහා වන අධ්‍යාපනයට අමතරව විශේෂ අවශ්‍යතා සහිත පාසල් සඳහා ගුරුවරු පුහුණු කිරීමේ කාර්යය මුලින් ම සිදු කිරීමේ ගෞරවය හිමිවන්නේ ද රත්මලාන අඳ ගොළු බිහිරි පාසලටයි. ගුරුවරු පුහුණු කිරීමෙන් පසු රත්මලාන අඳ ගොළු බිහිරි පාසලෙන් ගුරුවරුන්ට ලබාදුන් සහතිකය රජය මඟින් නීත්‍යානුකූල බවට පිළිගැණින. මෙම තොරතුරු මගින් පැහැදිලි වන්නේ බි්‍රතාන්‍ය රජයේ ඍජු මැදිහත් වීමක් ආබාධ සහිත පුද්ගලයන්ගේ අධ්‍යාපනය කෙරෙහි පැවති බවයි. එම පාසලේ ගුරුවරුන්ගේ සුදුසුකම් කෙරෙහි ද සැලකිළිමත් වෙමින් ආබාධ සහිත දරුවන්ට ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කිරීමට බ්‍රිතාන්‍යය රජය විශේෂ අවධානයක් යොමු කළ බව ද මෙමඟින් තහවුරු වේ.

image 8

රත්මලාන අඳ ගොළු බිහිරි පාසලේ දෘශ්‍යාබාධිත ළමුන් සඳහා අධ්‍යාපන ක්‍රමවේදය ආරම්භ වූයේ බ්‍රේල් ක්‍රමයෙනි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බ්‍රේල් ක්‍රමය ආරම්භ 1912න් පසුව බව සඳහන් වේ. ඉංග්‍රීසි භාෂාවෙන් පැවති බ්‍රේල් ක්‍රමය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම ඊ.ජී.බෝසර් මහත්මිය විසින් සිදුකළ අතර ලේඛන ගත කල ක්‍රමය නිසාවෙන් එය “අල-මල බ්‍රේල් ක්‍රමය” ලෙස හඳුන්වනු ලැබී ය. මෙම ක්‍රමයෙන් අධ්‍යාපනය ලැබූ ප්‍රථමයා වූයේ ‘ජෝෂප්’ නම් ද්‍රවිඩ ජාතික ශිෂ්‍යයෙකි. මෙම “අල-මල බ්‍රේල් ක්‍රමය” මඟින් රචිත “ගසේ කතාව” නම් කෘතියක් පිළිබඳව තොරතුරු වාර්තා වේ. අල-මල බ්‍රේල් ක්‍රමයට අමතර ව රත්මලානේ විද්‍යාලයේ විදුහල්පති කේ.සී.දසනායක මහතා විසින් බ්‍රේල් ක්‍රමයක් සකස් කළ අතර එය “දසනායක බ්‍රේල් ක්‍රමය” ලෙස හඳුන්වන ලදී (පෙරේරා,2011:34).

මෙම විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශ්‍රවණාබාධිත දරුවන් සඳහා 1938 වර්ෂයේ සමූහ සවන්හල් උපකරණ සවිකරන ලදී(පෙරේරා, 2011:50). තවද 1950 දී රත්මලාන අන්ධ විද්‍යාලයේ ආදී ශිෂ්‍ය කේ.සී.සයිමන් මහතා විසින් අන්ධ ළමුන් සඳහා උචිත වන ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවක් හඳුන්වාදීම වැනි කටයුතු මඟින් ඔවුන් සිය අරමුණු ජය ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කිරීමේ නිරත වූ බව හඳුනා ගත හැකි ය(පෙරේරා,2011:41). මෙම කරුණු මඟින් සනාත වන්නේ ආබාධ සහිත පුද්ගලයන්හට එම ආබාධිතභාවය නමැති බාධකය ජය ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහය ද යහපත් ශාරීරික තත්ත්වය පවත්වා ගැනීමට උත්සුක වී ඇති බවය.

1934න් පසුව තරමක අභාග්‍ය සම්පන්න කාලයක් උදාවූයෙන් කෙටි කාලයක් තුළ විදුහල්පතිවරුන් පස්දෙනෙකු පමණ සේවයට එක්විය. පසුකාලීනව විදුහල්පතිවරිය ලෙස පත් වූ එම්.ඕ.එම්.කාටර් මෙනවියගේ සමයේ වැඩිහිටි අන්ධ ළමුන් නේවාසිකාගාරවල රැඳි සිටීමේ බරපතල ගැටලුවට මුහුණදුන් අතර මෙම ගැටලුවට සහනදායී පිළිතුරක් ලැබුණේ නෆීල්ඩ් සාමිවරයාගේ ලංකාගමනයත් සමඟයි. මෙතුමා මුදලින් රු.35000ක් වැය කර කෝට්ටේ ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් තනා දුන් අතර බී.වික්‍රමනායක පියතුමාගේ භාරකාරිත්වය යටතේ වැඩිහිටි අන්ධ ළමුන් එහි භාරකාරිත්වය යටතේ කර්මාන්තවල නිරත කරවීය. මෙමඟින් ලැබූ දියුණුව දැක සතුටට පත් ව ඉන් පසු වසරේ සිදුකළ ලංකාගමනයේ දී. තවත් රු.35000ක් වැය කර කොළඹ මල්පාරේ බෲම්හිල්හි ගොඩනැගිල්ලක් තනා දී වැඩිහිටි අන්ධ කාන්තාවන් සඳහා ගුණරත්න මහත්මියගේ භාරකාරිත්වය හමුවේ කර්මාන්තවල නිරත කරවීය(පෙරේරා,2011:39). මේ අයුරින් ආබාධ සහිත දරුවන් අධ්‍යාපනයෙන් පසු කර්මාන්ත සඳහා යොමු කිරීමෙන් ඔවුන් සමාජගත කිරීමේ ක්‍රියාවලිය පහසු කළ බව පෙනේ. එමෙන් ම රත්මලාන විද්‍යාලය ආරම්භයේ දී සැලකිල්ලට භාජනය නොවූ කරුණක් වන අධ්‍යාපනයෙන් පසු ඔවුන්ගේ ජීවිත වල පැවැත්ම රඳා පවත්වා ගන්නේ කෙසේ ද? යන පැනයට එමඟින් පිළිතුරක් සැපයුණු බව හඳුනාගත හැකි ය.

දෙවන ලෝක සංග්‍රාමය පැවති 1939-1941 අතර කාලයේ දි රත්මලානේ අඳ බිහිරි පාසල වැදගත් වූයේ එය හමුදා කඳවුරක් ලෙස යොදාගත් බැවිනි. මෙකල අඳ බිහිරි විද්‍යාලය පවත්වා ගැනීමේ බාධා ඇති වූයෙන් ආරක්ෂිත ස්ථානයක් ලෙස යටියන්තොට දුම්රිය නිවාස ලබා දී පාසල පවත්වා ගෙන යන ලදි (පෙරේරා,2011:40). මෙහිදී ආහාර පිළිබඳ වගකීම ඉසිලූ සෙනෙවිරත්න නම් මහතා වැඩිමහලු ආබාධිත ශිෂ්‍යයන්ගේ වගකීම භාරගෙන දෙහිඕවිට දුම්රිය ස්ථානයේ නවාතැන් ගෙන පසුව යටියන්තොටට පැමිණියේ ය. මෙම කාල පරිච්ඡේදය ඉතා දුෂ්කර අවධියක් වූයේ දෙවන ලෝක යුද සමයේ ජපනුන් කොළඹට බෝම්බ හෙළීම නිසා රත්මලාන විද්‍යාලය අනාරක්ෂිත වීම හේතුවෙනි(පෙරේරා,2011:,30,116). මෙම සිද්ධිය ගත්කළ ඉන් පැහැදිලි වන්නේ බි්‍රතාන්‍ය පාලකයන් විසින් ‘ආබාධ සහිත පුද්ගලයන්’ යැයි නොතකා සාමාන්‍ය පුද්ගලයන්ගේ මෙන් ම ආබාධ සහිත වූවන්ගේ ද ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට ඔවුන්ගේ ජීවිත පිළිබඳ ව වගකීම භාරගෙන කටයුතු කළ බව ය.

රත්මලාන අඳ ගොළු බිහිරි විද්‍යාලයෙන් ලබාගත් ආභාෂයෙන් ආබාධ සහිත දරුවන් සඳහා තවත් පාසල් කිහිපයක් විවෘත විය. 1935 වර්ෂයේ බෙල්ජියම් ජාතික සදා සරණ නිකායේ කන්‍යා සොයුරියන් විසින් රාගම ප්‍රදේශයේ ශාන්ත ජෝශප් කතෝලික අඳ බිහිරි පාසල එලෙස ආරම්භ වූ තවත් එක් විද්‍යාලයකි. කොළඹ කතෝලික දේව සභාව විසින් පාසල තැනීමට අවශ්‍ය භූමිය පරිත්‍යාග කරන ලදි. මෙහි ප්‍රථම පාලක මණ්ඩල නියෝජනය කරන ලද්දේ එඩ්වාඩා කන්‍යා සොයුරිය සහ බ්ලන්ඩා, බි්‍රයටිස්, ශාමෙල් යන ගුරුවරියන් ය. මෙම පාසල 1965දී. ලාංකික සදා සරණ නිකායේ කන්‍යා සොයුරින්ගේ පාලනය යටතේ පත් කෙරුණ අතර 1978න් පසුව බිහිරි ළමුන්ට සඳහා පමණක් අධ්‍යාපනය ලබා දෙන ලදි(පෙරේරා,2011:95).

image 6

End of content!!!