image 10

හැදින්වීම
අනුරාධපුර යුගයේ ආරම්භ වූ රාජාණ්ඩු පාලන ක්‍රමය කන්ද උඩරටින් අවසන් වන්නේ 1815දී ය. එතැන් පටන් නොදුටු රජෙකු යටතේ ඔහුගේ නියෝජිතයන්ගේ බලපෑමට යටත් ව ජීවත් වීමට ලාංකීයන්ට සිදුවිය. ශ්‍රී ලංකාව යුරෝපීයනට යටත් කර ගැනීමේ ආරම්භය පෘතුගීසීන් විසින් සිදු කළ අතර අනතුරුව ලන්දේසින් බලපෑමට නතු විය. මේ දෙපිරිසටම ඉටුකර ගත නොහැකි වූ කන්ද උඩරට යටත් කර ගැනීමට සමත් විය. එවකට කන්ද උඩරට පාලකයාව සිටී ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව.1798-1815) රජු සහ රාජ සභා නිලධාරීන්ගේ ක්‍රියාවන් ද ඔවුන් අතර තිබූ මතභේදාත්මක ගැටුම් ඒ සඳහා බ්‍රිතාන්‍යයන්ට මග සලසන ලද’(ම.ව.1955:662). කන්ද උඩරට දක්වා ම සුරක්ෂිත කර ගෙන පැමිණි බෞද්ධාගමික හර පද්ධතිය මත පෝෂණය වූ ආර්ථික, දේශපාලන, සමාජ සහ සංස්කෘතිය ක්‍රම ක්‍රමයෙන් විනාශ කිරීමට බ්‍රිතාන්‍යයන් නිරන්තරයෙන් ක්‍රියාකළ අතර දේශීයකරණය වෙනුවට බටහිරකරණයට හැඩ ගැසුණු පරපුරක් නිර්මාණය වීම එමඟින් සිදුවිය. බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීමට පෙර සිටි පෘතුගීසින් හා ලන්දේසින් ක්‍රියාත්මක කළ ඇතැම් නීති හා සිදු කරනු ලැබූ විවිධ කර්තව්‍යයන් බ්‍රිතාන්‍යයන් අනුගමනය කළ බවක් ඉතිහාසය අධ්‍යයනයේ දී දක්නට ලැබේ. රෝම-ලන්දේසි නීතිය, සුබසාධන කටයුතු, බටහිර වෛද්‍ය ක්‍රමවේදය, අධ්‍යාපනය, සෞඛ්‍ය හා ආරක්ෂණ ක්‍රමවේද ඒ අතර ප්‍රධාන වේ. ඊට අමතරව සර්ව කාලීන වටිනාකම් සහිත වැවිලි ආර්ථිකය, දුම්රිය මාර් පද්ධතිය හා මහා මාර් පද්ධතිය බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලාංකීයනට උරුම කරන ල. එවන් පසුබිමක් යටතේ ආබාධ සහිත පුද්ගලයන් උදෙසා බ්‍රිතාන්‍යයන්ගේ මැදිහත් වීම සිදු වූ ආකාරය පිළිබඳ ව අනාවරණය කරගැනීම මෙම පරිච්ඡේදය මඟින් සිදු කෙරේ.

image 1
Victoria Home Care Centre. Rajagiriya

බ්‍රිතාන්‍ය පාලන සමය
ශ්‍රී ලංකාව තුළ බ්‍රිතාන්‍යයන්ගේ ක්‍රියාකාරිත්වය ආරම්භ වන්නේ යුරෝපයේ සිදු වූ දේශපාලන බල අරගලයන්හි ප්‍රතිඵලයක් ලෙස ය. ප්‍රංශය විසින් ඕලන්දය යටත් කරගත් අවස්ථාවේ ඕලන්ද පාලක ‘ස්ටැට්හෝල්ඩර් දෙවන ඔරේන්ජ්හි විලියම්’ කුමරුට ආරක්ෂාව සපයන ලද්දේ බ්‍රිතාන්‍යයන් ය. එහි දී ශ්‍රී ලංකාවේ ලන්දේසි පාලන ප්‍රදේශ පවරා දෙමින් එංගලන්තයේ ‘කිව්’ මාළිගයේ දී අත්සන් කරන ලද ‘කිව් ලිපිය’ මඟින් ලන්දේසීන් යටත් කර ගෙන තිබූ ලාංකීය පාලන ප්‍රදේශ බ්‍රිතාන්‍යයන්ට අයත් විය. එවකට ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයා සිටි ‘ෆන් එංගල්බෙක්’ ක්‍රි.ව. 1796 පෙබරවාරි මස 16වන දින පැමිණි බ්‍රිතාන්‍ය නියෝජිතයන්හට පාලන ප්‍රදේශ ලබාදීමට අකමැති වූයෙන් ලන්දේසින්ට පහර දී එම ප්‍රදේශ යටත් කර ගැනීමට බ්‍රිතාන්‍යයන්ට සිදු විය(ධම්මසිද්ධි,2013:01). අදියර තුනක් යටතේ ශ්‍රී ලංකාවේ බලය පිහිටුවා ගැනීමට ක්‍රියාකළ බ්‍රිතාන්‍යයන් ක්‍රි.ව.1796 දී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවලත්, ක්‍රි.ව.1802 දී මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍යය කිරීටයේ යටත් විජිතයක් බවටත්, ක්‍රි.ව.1815 උඩරට රාජ්‍ය යටත් කරගනිමින් සමස්ත ලංකාද්වීපයම බ්‍රිතාන්‍ය යටත් විජිතයට නතු කර ගන්නා ලදි. මෙලෙස ලංකාව කෙරෙහි බ්‍රිතාන්‍යයන්ගේ අවධානය යොමු කිරීමට හේතු වූයේ, ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම (ත්‍රිකුණාමල වරාය), ශ්‍රී ලංකාව සතු වටිනා වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීම(කුරුඳු,ගම්මිරිස් ඇතුළු කුළුබඩු සහ ඇත්දළ මුතුමැණික් ආදිය), ප්‍රංශය විසින් ලංකාව යටත් කර ගනිතියි බිය වීම යන කරුණු ය(අ.ප්‍ර.දෙ.2007:1-9). මොවුන් ලංකාවට පැමිණෙන විට කන්ද උඩරට පාලකයාව සිටියේ රාජාධි රාජසිංහ (ක්‍රි.ව.1782-1798)රජතුමාය. නායක්කර් වංශික බලය පැතිරුණු මේ අවධියේ රාජ සභාවේ සිටි නායක්කාර් නිලධාරීන් සහ සිංහල නිලධාරීන් අතර බලය නතුකර ගැනීමේ තරඟයක් පැවතිණ. මෙකල මහා අධිකාරම්වරයාව සිටි පිළිමතලව්වේ රාජ්‍යත්වයට පත් වීමේ අභිලාෂයෙන් පෙළුණු අතර රාජාධි රාජසිංහ රජුගේ මරණින් පසු රාජ්‍ය උරුම අපේක්ෂකයාව සිටි මුත්තුසාමි වෙනුවට කන්නසාමි කුමරුට පත්කර ගැනීමට කටයුතු මෙහෙය වන ලදි. එය ජනතා කැමැත්තෙන් හිමි වූ බව මහාවංශයේ සඳහන් වේ(ම.ව.1955:652). මුත්තුසාමි කුමරා රජකම සඳහා තමාට ඇති අයිතිවාසිකම් කියාපෑමට උත්සහ කළ ද එය ව්‍යාර්ථ වූයෙන් ඉංග්‍රීසීන්ගේ උදව් පැතීය. නමුත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොවූයෙන් මුත්තුසාමි යාපනයට ගොස් වාසය කළේය. මින් පැහැදිලි වන්නේ උඩරට අල්ලා ගැනීමේ අපේක්ෂාවක් මුල දී බ්‍රිතාන්‍යයන්ට තිබූ බවයි. කන්නසාමි මරා රජකම ලබා ගැනීමේ අපේක්ෂාව ඉටු නොවන බව දැනගත් පිළිමතලව්වේ අදිකාරම් ක්‍රි.ව.1799 පෙබරවාරි මස අවිස්සාවේල්ලේ දී නෝර්ත් ආණ්ඩුකාරවරයා හමු වුව ද අදහස ඉටු නොවූයෙන් එම වසරේම දෙසැම්බර් මාසයේ දී යළිත් ආණ්ඩුකාරවරයා හමුවිය. උඩරට රජුට ජනතාව අප්‍රසාදය පළ කරන බවත් රජකම ලබා ගැනීමට උදවු කරන්නේ නම් කප්පම් ගෙවන රජකු වශයෙන් තමා රජකම් කරන බවත් එහි දී පිළිමතලව්වේ පැවසීය(ම.ව.1955:655). මේ අයුරින් පස් වරක් සාකච්ඡා පැවැත් වුව ද අදහස ඉටු නොවූයෙන් උඩරට රජු හා ඉංග්‍රීසින් බිඳවාලීමට ක්‍රියාකළ ද එය ද ව්‍යර්ථ විය. කෙසේ නමුත් අවසානයේ නෝර්ත් ආණ්ඩුකාරවරයා ක්‍රි.ව.1803 දී මහනුවරට සේනාවක් එවූ අතර රජුගේ පලා යාම නිසා මහනුවර අල්ලා ගැනීමට පහසු විය. එහෙත් රජකම හිමි වූයේ පිළිමතලාවේ හට නොව මුත්තු සාමිට ය. පසුව මුත්තුසාමි බලයෙන් පහකර ඔහුට විශ්‍රාම වැටුපක් දීමට ක්‍රියා කළේ ය. එම වර්ෂයේදී ම පළා ගිය රජතුමා සේනාවක් රැගෙනවිත් බොහෝ වේලාවක් සටන් කර මහනුවර අල්ලා ගැනීමට සමර්ථ විය. මෙහිදි පිළිමතලව්වේ සිදුකල වරද හෙළිවීමෙන් පසුව නඩු විභාගයක් පවත්වා පිළිමතලව්වේ අදිකාරම්, ඔහුගේ පුත්‍රයා, රත්වත්තේ, පුස්සැල්ලේ ගබඩා නිලමේ සහ දවුලගල රටේ මහත්තයා ඇතුළු පිරිස චෝදනා කරුවෝ කළහ. නඩු විභාගයෙන් පසුව පිළිමතළව්ව මහා අධිකාරම්ගේ පුතු හැර සෙස්සන්ට මරණීය දණ්ඩනය නියම කරන ලදි.

පිළිමතලව්වේගේ මරණයෙන් පසු ඔහුගේ බෑනා වූ ඇහැලේපොළ මහාධිකාරම් වශයෙන් පත්විය. ඔහු ද සිංහලයකු රාජ්‍ය උරුමය ලබා ගත යුතුය යන අදහස් අනුව ක්‍රියා කිරීමට යාම නිසා සබරගමුවට යවනු ලැබීය. ඇහැලේපොළට විරුද්ධව චෝදනා වැඩි වූයෙන් එම තනතුර මොල්ලිගොඩට පවරා දී ඇහැළේපොලගෙන් සබරගමුව යටත් කර ගන්නා ලෙස නියම කළේය. සේනාවක් සමඟ සබරගමුවට ගිය මොල්ලිගොඩට යන්තම් විරෝධය දැක් වූ ඇහැලේපොළ 1814 දී ඉංග්‍රීසින් වෙත පලා ගියේය. රජුට විරුද්ධ වූ ගිහි-පැවිදි, සිංහල-මුස්ලිම් සියලු දෙනා මරා දමනු ලදුව අවසානයේ උඩරට ඛේදනීය පුවත වන ඇහැලේපොළගේ දරුවන් සහ බිරිඳ සාහසික ලෙස ඝාතනය කිරීම සිදු විය. මේ සිද්ධියෙන් පසුව උඩරට අල්ලා ගැනීමට හේතු සොයන බ්‍රිතාන්‍යය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්(ක්‍රි.ව.1812-1820) හට ඊට ප්‍රමාණවත් හේතුවක් හමුවිය. බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශයට අයත් පහතරටින් ගිය මිනිසුන් වගයක් ඔත්තුකාරයන් යැයි සලකා, “ඔවුන්ගේ අවයව කපා කරේ එල්ලා පිටත් කරන ලදී”(ම.ව.1955:667). මෙලෙස ලබා දුන් දඬුවම යුද්ධ ප්‍රකාශ කිරීමට හේතුවක් කර ගන්නා බ්‍රවුන්රිග් මෙම යුද්ධය කෲර රජුට විරුද්ධව කරන යුද්ධයක් මිස සිංහල ජනතාවට විරුද්ධව කරන යුද්ධයක් නොවන බව ප්‍රකාශ කර යුද්ධයට සිංහලයන් සහය දිය යුතු බවට ප්‍රකාශ පත්‍රයක් නිකුත් කළේ ය(ම.ව.1955:668). අනතුරුව 1815 පෙබරවාරි මස 18 දින මහනුවර උඩපිටියේ දී රජු සහ බිසවුන් අල්ලා ගෙන කොළඹට යැවීය. ඉන්පසු 1815 මාර්තු මස 2වන දින මහනුවර මඟුල් මඩුවේ දී සිංහල හා ඉංග්‍රීසි නිලධාරීන් යන දෙපිරිස ඉදිරියේ 1815 ගිවිසුම පත්‍රය කියවා අත්සන් කරන ලදී. ඉතිහාසයේ සඳහන් තොරතුරු අනුව පැහැදිලි වන කරුණක් වන්නේ උඩරට අල්ලා ගැනීමේ අරමුණ ඉංග්‍රීසීන් තුළ පැවතියාටත් වඩා එබන්දක් ඔවුන්ට ඒත්තු ගැන්වීමේ අරමුණක් පැවතියේ දේශීය නායකයන්ට බවය. මෙම කුමන්ත්‍රණවල අවසන් ප්‍රතිඵලය වූයේ සිංහලයන්ට තම උරුමය පවා අහිමිව බ්‍රිතාන්‍යයන් යටතේ ජීවත් වීමට සිදුවීම ය. 1815 සිට නිදහස ලැබීම දක්වා බ්‍රිතාන්‍යය ආණ්ඩුකාරවරුන් තිස් එක් දෙනෙකු යටතේ පාලනය වූ ශ්‍රී ලංකාවේ සියලු කටයුතු බ්‍රිතාන්‍ය ක්‍රමයට අනුව හැඩ ගැසීම සිදු විය. උඩරට රාජ්‍ය පාලනයේ පැවති දඬුවම් ක්‍රම ඉවත් කළ බ්‍රිතාන්‍යයන් නව නීති පද්ධතියක් ක්‍රියාත්මක කර තම රජයට විරුද්ධ වන්නන් අසාධාරණ ලෙස ඝාතනය කිරීමේ නිරත විය. විවිධ බාධක කම්කටොලු මධ්‍යයේ අයිතීන් ලබා ගැනීම සඳහා ක්‍රියාකළ ලාංකීයයන් 1948 දී ස්වකීය නිදහස හිමිකර ගනු ලැබිණ. ඒ දක්වා කාලය තුළ 1818කැරැල්ල හා 1848 විමුක්ති අරගලය වැනි වරින් වර පැන නැගි ජනතා විරෝධතා මැඬලීමට ක්‍රියාකළ ඉංග්‍රීසීන් ජනතා අප්‍රසාදයට හේතු වූ කරුණු සොයා බලා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇති කරන ලදී. එහි දී ,

1833 කෝල්බෲක් – කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ
1910 1912 කෲව්- මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ
1920 මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ
1924 මැනිං – ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ
1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ
1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ


යන ප්‍රතිසංස්කරණයන් ඉදිරිපත් කරන ලද නමුත් මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමේ දුර්වලතා ද දක්නට ලැබේ. තව වාසියට පමණක් ඒකාධිපති ස්වරූපයෙන් ක්‍රියාකළ බ්‍රිතාන්‍යයන් සිංහල බෞද්ධ සංස්කෘතිය, දේශීය රාජාණ්ඩු පාලනය, දේශීය ආර්ථිකය සහ ඒ මතින් ගොඩනැගි සමාජය විනාශ කිරීමේ වැඩපිළිවෙළක නිරත වූයෙන් ස්වදේශිකයන් දේශීයකරණයෙන් බටහිරකරණයට නතු වෙමින් පැවතිණ. එය සමාජ ඇවතුම් පැවතුම් කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කළ අතර ආබාධ සහිත පුද්ගලයන් කෙරෙහි ද එහි බලපෑම දැඩිව දැනෙන යුගයක් විය. මෙකල ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ආරම්භ කළ සමාජසේවා වැඩ සටහන්, අධ්‍යාපන ක්‍රමවේදය, සෞඛ්‍ය හා ආරක්ෂණ වැඩසටහන් මෙන්ම ඒ සඳහා ඉදිවුණ ගොඩනැඟිලි යනාදිය වර්තමානයේදිත් ක්‍රියාත්මක තලයේ පවතිනු දැකගත හැකි ය.

බ්‍රිතාන්‍ය පාලන සමයේ ආබාධ සහිත පුද්ගලයන්ගේ ඉතිහාසය
බ්‍රිතාන්‍ය පාලන සමයේ ආබාධ සහිත පුද්ගලයන්ගේ ඉතිහාසය ක්‍රි.ව.1815 – ක්‍රි.ව.1948 දක්වා අධ්‍යයනය කළ ද එහි ආරම්භක පසුබිම සකස් වූ ආකාරය හෙළි කර ගැනීමේ දී 1796 සිට 1815 දක්වා කාල පරිච්ඡේදය හඳුනා ගැනීම අධ්‍යයන කාර්යය සඳහා වැදගත් වේ. බ්‍රිතාන්‍යයන්ට පෙර සිටි ලන්දේසි ජාතිකයන් ස්වකීය පාලනය යටතේ ලංකාවට සුබසාධන ආයතන හඳුන්වා දී ක්‍රියාත්මක කරන ලදී (මෙත්තානන්ද,2018:261). බ්‍රිතාන්‍යයන් ලන්දේසීන්ගෙන් පාලන බලය පවරා ගන්නා විට එම පවරා ගැනීමේ කොන්දේසි වල ලන්දේසින් ආරම්භ කරන ලද සුබසාධන ආයතන රැක දීමටත් ඒවා සතු මුදල් හා දේපළ සුරක්ෂිත කිරීමටත් පොරොන්දු විය. සර් ෆෙඩි්‍රක් නෝර්ත් (ක්‍රි.ව.1798-1805)ගේ පාලන අවදියේ දී එම ආයතන වල හුදු පැවැත්ම උදෙසා පමණක් ක්‍රියාත්මක වීම වෙනුවට මෙම අංශය පිළිබඳ ව ක්‍රමවත් අවධානයක් යොමු කර ඇත. මෙකල සහනාධාර ලැබිය යුතු පිරිසක් ලෙස “සිහි විකල් බව, අංශභාග, අන්ධ භාවය හා සමාජ රෝග වැනි ශාරීරික දුබලතාවයන්”(මෙත්තානන්ද,2018:266) සහිත වූවන් සුදුසුකම් ලැබී ය. එමඟින් පැහැදිලි වන්නේ එකල මානසික හා කායික ආබාධ සහිත ප්‍රජාවක් ජීවත් වූ බවය. රජය විසින් ජනතාවට සහන සැලසීම සඳහා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළවල් අතර විශ්‍රාමික කතුන් හට නූල් කැටීම සඳහා පුහුණුවක් ලබා දී නූල් විකිණීමෙන් ලැබෙන ආදායමෙන් වියදම් පිරිමසා ගැනීමට අවස්ථාව සලසා දීම ඉන් එක් වැඩසටහනක් ලෙස පෙන්වාදිය හැකි ය. නමුත් මෙම වැඩසටහනට වයස හැට ඉක්ම වූ හෝ නොයෙකුත් ශාරීරික ආබාධ වලින් පෙලුණ අය ඇතුළත් කර නොගත් බව සඳහන් ය(මෙත්තානන්ද,2018:270). එලෙස ඔවුන් ඇතුළත් කර නොගැනීමට හේතුවක් දක්වා නැතත් ඇතැම් විට නූල් කැටීමේ කාර්යයේ නිරත වීමේ ශක්‍යතාවය පිළිබඳ ගැටලුවක් නිසාවෙන් ශාරීරික ආබාධ සහිත වූවන් ඇතුළත් කර නොගන්නට ඇත. ලාදුරු, කොළරා සහ වසූරිය වැනි වසංගත රෝග ව්‍යාප්ත වූ මෙම කාල පරිච්ඡේදය තුළ සමාජ රෝග, මීමැස්මොර රෝගය, මානසික ආබාධ සහ වෙනත් ශාරීරික ආබාධ සහිත වූවන් ද රෝහල් ගතකළ බව සඳහන් ය(මෙත්තානන්ද,2018:273-275). ඒ බව පහත සිද්ධියෙන් අනාවරණය වේ.
“ජොආනා මරියා ලුඩවයික් නම් රෝගී කාන්තාවගේ… ඇය ලන්දේසි වෛද්‍යවරයෙකුගේ භාර්යාවක් වූ අතර ලාදුරු රෝගයෙන් පෙළෙන්නියක් වූවා ය. ඇයගේ පුත්‍රයා ද ඇය සමඟ රෝහලට ඇතුළත් කරන ලද්දේ ඔහු උන්මාද ගතියෙන් පෙළුනු රෝගයක් වූ බැවිනි”(මෙත්තානන්ද,2018:273). මේ අයුරින් 1815ට පෙර සිටම බ්‍රිතාන්‍යයන් කායික හා මානසික ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ සහනාධාර වැඩපිළිවෙළ, සෞඛ්‍ය හා ස්වස්ථතා වැඩපිළිවෙළ 1815න් පසුවත් ආබාධ සහිත ප්‍රජාව කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා කළ මගපෙන්වීමක් විය. ඒ ඔස්සේ ගොඩනැඟුණ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ක්‍රියාත්මක නීති රීති, සුභසාධන කටයුතු වල බලපෑම අද දක්වා ම අත්විඳිය හැකි ය.

ක්‍රි.ව.1815න් පසු ඇරඹෙන බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ එම ආරම්භය සනිටුන් කරමින් උඩරට රාජධානිය අල්ලා ගැනීම සඳහා මූලික හේතු සාධකය බවට පත් වන්නේ ‘ආබාධිතභාවය‘ නමැති සාධකයයි. එනම් උඩරට නීතිය තුළ ක්‍රියාත්මක අංගඡේදන දඬුවම් ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශයේ සිටි පිරිසක් ආබාධිතභාවයට පත් කිරීමයි. මහාවංශයේ එම විස්තරයේ දැක්වෙන්නේ,

“අංග විකල කරනු ලැබූ තිදෙනෙක් කොළඹට ගොස් තමන්හට සිදු වූ දේ කියා සිටියහ. මෙය ඉංගිරිසින් හට කරන ලද අපහසයක් සේ සැලකූ ආණ්ඩුකාර තැන රජුට විරුද්ධ ව යුද්ධ ප්‍රකාශ කිරීමට එය කරුණක් කර ගත්තේ ය”(ම.ව.1955:667).


යනුවෙනි. මෙම සිද්ධිය පිළිබඳ ව පිටුවහල් කිරීමෙන් පසු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ප්‍රකාශ කර ඇත්තේ උඩරට නීතිය අනුව ඔත්තුකාරයනට දෙන දඬුවම මෙය බවයි(ම.ව.1955:673). මෙම සිද්ධියෙන් ඇරඹෙන උඩරට අල්ලා ගැනීමේ ක්‍රියාවලිය 1815 මාර්තු මස 2වන දින සඵල වන්නේ උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ය. සමස්තයක් ලෙස මෙය රටට අහිතකර වුවත් ආබාධිත පුද්ගල ඉතිහාසය තුළ වැදගත් අවස්ථාවක් ලෙස මෙම ගිවිසුම හඳුනාගත හැකි ය. ශ්‍රී ලාංකිකයන්ට ස්වකීය උරුමය අහිමි වුවද රාජකීය දඬුවම් ක්‍රම අතර තිබූ තිබු අංගඡේදන දඬුවම් උඩරට ගිවිසුමේ හයවන වගන්ති ප්‍රකාරව තහනම් කරන ලදී. හය වන වගන්තියට අනුව, “ගාත්‍රා සංධිසදිස්ථාන අවයව කැපීමෙන් කරන නානප්‍රකාර ශරීර වදවේදනා නැති කරන්ඩත් සහ තහනම් කරන්ඩත් යෙදුණාය”(ම.ව.1955:677). වශයෙන් දක්වා තිබේ. ඒ අනුව අත් පා ආදිය දඬුවම් මගින් අහිමි කිරීම නැවතිණ. එහෙත් වැඩි කලක් යන්නට පෙර ඇරඹි 1818 කැරැල්ලත් 1848 විමුක්ති අරගලයත් ආබාධ සහිත පුද්ගලයන් බිහි කරන්නට හේතු වන්නට ඇතැයි අනුමාන කළ හැක්කේ මෙය ඉතා බිහිසුණූ සටන් වූ නිසාවෙනි. 1818 කැරැල්ලත් සමඟ “ඉංග්‍රීසි භටයෝ මුළු උඩරට ම රාජද්‍රෝහීන් ලෙස සලකා ගිය ගිය තැන ගෙවල් දොරවල් ගිනි ගිනි තැබීම ආදි සාහසික ක්‍රියා කළහ”(ම.ව.1955:682). යනුවෙන් සඳහන් වීම තුළ 1815 ගිවිසුම ඉංග්‍රීසින් විසින් ම කඩ කළ බවක් දැකගත හැකිය. දේශීය කැරැල්ලකට කිසිසේත් ඉඩ නොතබන ඉංග්‍රීසින් දරුණු ලෙස එය මැඩ පවත්වනු ලැබීය.

කන්ද උඩරට පාලන බලය ස්ථාපිත කර ගැනීමෙන් පසු ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් ගත් එක් එක් ක්‍රියාමාර්ග අතර සර් ජේම්ස් ඇලෙක්සැන්ඩර් ස්ටුවඩ් මැකෙන්සි (ක්‍රි.ව.1837-1841) ආණ්ඩුකාර පදවිය දැරූ සමය විශේෂයෙන් වැදගත් වේ. ඒ අතරින් ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවාව පිළිබඳ ඉතිහාසය වඩාත් කැපී පෙනේ. උමතුව පිළිබඳ ව ආඥා පනත යටතේ ක්‍රි.ව.1839 දී උපස්ථානාගාර ලෙස ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවාවේ ආරම්භය සනිටුහන් කරන ලදි. ඒ අනුව ස්ටුවඩ් මැකෙන්සි ආණ්ඩුකාරවරයා යටතේ ශ්‍රී ලංකාව තුළ මානසික රෝගීන් සඳහා උපස්ථානාගාර ඉදි කිරීම සඳහා වන 1839 ආඥා පනත හඳුන්වා දෙනු ලැබී ය. ඒ වන විට පැවති උපස්ථානාගාර ත්‍රිත්වය රෝගින්ගෙන් පිරී යාම නිසා මානසික රෝගීන් ප්‍රමුඛ කරගනිමින් ඔවුන්ගේ රැකවරණය උදෙසා ඇඳන් 1728ක් සහිත නේවාසිකව ප්‍රතිකාර කිරීමේ උපස්ථානාගාරයක් ආරම්භ කර එය වර්ෂ 1926 දී සාදා නිම කරන ලදි (www.mentalhealth.health.gov.lk)’ ස්ටුවඩ් මැකෙන්සි ආණ්ඩුකාරවරයාගේ කාලයට අදාළ මහාවංශ විස්තරය තුළ “උන්මත්තකාරෝග්‍ය ශාලාවක් පිහිටුවීම”(ම.ව.1955:697) ලෙස සඳහන් ව ඇත්තේ මෙම රෝහල පිළිබඳ ව විය හැකි ය. මෙය නූතනයේ දී හඳුන්වනු ලබන්නේ අංගොඩ මානසික රෝහල ලෙස ය. මානසික ආබාධ සහිත වූවන් වෙනුවෙන් ගත් එම ක්‍රියාමාර්ගයන්හි ප්‍රතිඵලයක් ලෙස වර් 1892 දරණ මානසික සෞඛ්‍ය පනත සකස් කරන ලදි (www.ivoice.lk) මෙකල ආණ්ඩුකාර ධූරය හොබවා ඇත්තේ සර් ආතර් අලිබෑන්ක් හැව්ලොක් (ක්‍රි.ව.1890-1896) විසිනි(ම.ව.1955:710). නව මානසික සෞඛ්‍ය පනතක් පාර්ලිමේන්තුව සඳහා ඉදිරිපත් කිරීමට අවශ්‍ය කෙටුම්පත 2015 වර්ෂයේ කැබිනට් අනුකාරක සභාවට ඉදිරිපත් කරන තෙක් ම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව ඇත්තේ 1892 දී ආරම්භ කළ වසර 120කට වඩා පැරණි 1892 දරණ මානසික සෞඛ්‍ය පනතයි (www.ivoice.lk) මෙම ක්‍රියාවලියේ ම දිගුවක් වශයෙන් ක්‍රි.ව.1943 දී කොළඹ ජාතික රෝහලේ දී ප්‍රථම ස්නායු මනෝ වෛද්‍ය සායනය ස්ථාපිත කරන ලදී. ආරම්භයේ මානසික ආබාධ සහිත පුද්ගලයන් උදෙසා වන සියලු කටයුතු කොළඹට කේන්ද්‍රගතව පසුව ඒ අවට පැවති ගාල්ල, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක වලත් 1960න් පසුව සෙසු දිස්ත්‍රික්ක වලත් ප්‍රජා පාදක සේවාවක් බවට පත් විය (www.mentalhealth.health.gov.lk).

ඉහත දක්වන ලද සියලු තොරතුරු වලින් පැහැදිලි වන්නේ මානසික ආබාධ සහිත පිරිසක් ජීවත් වූ බවත් ඔවුන්ගේ යහපත වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට බ්‍රිතාන්‍ය පාලකයන් කටයුතු කළ බවයි. වර්තමානය තුළ මානසික ආබාධ සහිත පුද්ගලයන් වෙත අවම අවධානයක් හිමිවන තත්ත්වයක් තුළ බි්‍රතාන්‍ය පාලන සමයේ ඔවුන් වෙනුවෙන් ගත් ක්‍රියා මාර්ග අතිශය වැදගත් බව තහවුරු වේ.

කෙසේ වෙතත් මෙම සමස්ත තොරතුරු දෙස අවධානය යොමු කිරීමේ පැන නගින ගැටලු කිහිපයකි. පහත කරුණු ඔස්සේ එය හඳුනාගත හැකි ය. එනම්,
■ පැවති මානසික උපස්ථානාගාර තුන රෝගීන්ගෙන් පිරී පැවතීම
■ තවත් මානසික රෝගීන් හට ප්‍රතිකාර කිරීමට එම ස්ථාන ප්‍රමාණවත් නොවීම
■ නව ප්‍රතිකාර රෝහල් ස්ථාපිත කිරීම
■ මානසික සෞඛ්‍ය පනතක් සකස් කිරීම
■ කොළඹ, මහනුවර, ගාල්ල සහ යාපනය ප්‍රදේශ වලට සීමා වූ මානසික සෞඛ්‍ය රෝහල් දිවයින පුරා ව්‍යාප්ත කිරීම
■ මානසික රෝග සායන ආරම්භ කිරීම
යන කරුණු ය. මෙම කරුණු මඟින් අනාවරණය වන්නේ මානසික රෝගීන් වෙනුවෙන් මේතරම් අවධානයක් යොමු කිරීමට බ්‍රිතාන්‍යයන්ට සිදු වන්නට ඇත්තේ මානසික රෝග වලට ලක් වූ පුද්ගල සංඛ්‍යාවේ වර්ධනයක් සිදු වූ නිසාවෙන් බවයි. එසේ ම එය සමාජයට තදින් බලපාන කාරණයක් වූයෙන් නේවාසික ප්‍රතිකාර සහ සායනික ප්‍රතිකාර ලබා මෙන් තත්ත්වය පාලනයට උත්සහ ගත් බවක් හඳුනාගත හැකි ය. එය සමාජීය වශයෙන් පමණක් නොව දේශපාලනික මැදිහත් වීමක් අවශ්‍ය වන තරම් පැතිරුණු ගැටලුවක් වූයෙන් පනත් සකස් කර ක්‍රියාත්මක කිරීම දක්වා වූ ප්‍රබල හේතු සාධකයක් වන්නට ඇත. එසේම මානසික ආබාධ සහිත වීම තදාසන්න ප්‍රදේශ වලට පමණක් සීමා වූවක් නොවූයෙන් මානසික ප්‍රතිකාර ලබාදීම දීපව්‍යාප්ත ව සිදු කිරීම අවශ්‍ය වන්නට ඇත. පුද්ගලයන්ගේ මනස ආබාධිත තත්ත්වයට පත් වන අන්දමේ ප්‍රබල බලපෑමක් ඇති වන්නට හේතු වූ කාරණා සඳහන් නොවෙතත් එවක පැවති යටත් විජිත පාලන සමයේ දැඩි බව මෙන් ම පැවති ආර්ථික, සමාජ, දේශපාලන තත්ත්ව හේතු වන්නට ඇතැයි සඳහන් කළ හැකි ය.

image
අංගොඩ මානසික රෝහලේ ඇති 1928 ඉදිකළ දැනට භාවිතයට නොගන්නා පාටි වාට්ටුව ලෙස හැඳින් වූ ගොඩනැඟිල්ල

End of content!!!