
සාහිත්‍ය මාසය මෙන්ම කියවීමේ මාසයද අර්ථවත් කරමින් මප/දෙනු/බලන කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරු දැරියන් වෙනුවෙන් “ළමා මිතුරු පුස්තකාලය” විවෘත කිරීම ඔක්තෝම්බර් මස 03 වන දින යටිනුවර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මධ්‍යම පලාතේ යටිනුවර කොට්ඨාසයේ බලන ග්‍රාමයේ පිහිටි බලන කණිෂ්ඨ විද්‍යාලය, පිවිසීම තරමක් දුෂ්කර නමුත් ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථානයන්ගෙන් සමන්විත ප්‍රදේශයක පවතින සුන්දර පාසලකි.
ප්‍රාථමික අංශයේ දරු දැරියන්ගේ කියවීමේ හැකියාව වර්ධනය කිරීමත් කියවීමේ රුචිකත්වය ඇතිකිරීම තුළින් පරිපූර්ණ මිනිසෙකු බිහිකිරීමේ යාවජීව කර්තව්‍යයේ එක් පියවරක් ලෙසත් මෙම ළමා මිතුරු පුස්තකාලය පිළිබඳ අදහස ක්‍රියාත්මක විය.

උත්සවය අවස්ථාවේ අදහස් දක්වමින් විදුහල්පති එච්.එම්.එන්.බී.හේරත් මහතා පැවසුවේ මාස දහයක පමණ කාලයක පටන් ළමා මිතුරු පුස්තකාලය යථාර්ථයක් බවට පත් කර ගැනීමට පාසලේ ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන් හා දරුවන් වෙහෙස වී කටයුතු කල බවයි. එමෙන්ම room to read වැඩසටහන ඇතුළු පොත්පත් පරිත්‍යාගයන් කල සහ නන් අයුරින් දායක වුන සැමට පාසල වෙනුවෙන් ස්තූතිවන්ත වන බව ද එතුමා ප්‍රකාශ කළේය.






