happy childrens day

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් ලෝක ළමා දිනය ඔක්තෝබර් 01 දින සමරන නමුත් ප්‍රථම වරට 1954 දී “විශ්ව ළමා දිනය” ලෙස ලෝක ළමා දිනය සැමරීම ආරම්භ කරන ලද අතර එය සෑම වසරකම නොවැම්බර් 20 දින සමරනු ලබයි.

තවද නොවැම්බර් 20 වැදගත් දිනයක් වන්නේ, එය 1959 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය “ළමා අයිතිවාසිකම් ප්‍රකාශය” සම්මත කළ දිනය මෙන්ම 1989 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සම්මත කළ දිනය ද වන බැවිනි. එනිසා 1990 සිට, ලෝක ළමා දිනය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය සහ සම්මුතිය යන දෙකම සම්මත කළ දිනයේ සංවත්සරය ද සනිටුහන් කරයි.

playing kids

ළමා දිනය සැමරීම මෙතරම් වැදගත් වන්නේ ඇයි..?

සෑම වසරකම ලෝක ළමා දිනය සැමරීම පිටුපස ඇති වැදගත් හේතුවක් වන්නේ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි. වැඩිහිටියන් මෙන් නොව, දරුවන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම අපහසුය. එබැවින් ඔවුන් ආරක්ෂා කිරීම අපගේ යුතුකමකි. මේ නිසා සෑම දරුවෙකුටම නිසි අධ්‍යාපනයක්, සෞඛ්‍ය සේවාවක් මෙන්ම ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයකින් සහ වෙනස් කොට සැලකීම් වලින් ආරක්ෂා වීම සහතික කිරීම සඳහාත් එක්සත් ජාතීන්ගේ සංවිධානය බොහෝ ගිවිසුම් අත්සන් කර ඇත.

දරුවන් යනු ලෝකයේ අනාගතය බව අපි කවුරුත් දන්නා කරුණකි. යහපත් අනාගතයක් උදෙසා දරුවන්ට වර්තමානය තුළ නිසි අධ්‍යාපනය, රැකවරණය සහ ප්‍රතිලාභ ලැබීම අත්‍යවශ්‍ය වන අතර එය ලබාදීමේ මංපෙත් විවර කරදීමේ කතිකාවන් ගොඩනැගීම ලෝක ළමා දිනය සැමරීමේ තවත් වැදගත් අරමුණකි.

ළමා දිනය එක් දිනක් පමණක් සැමරීම ප්‍රමාණවත් ද..?

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින ගැටළුකාරී ආර්ථික තත්ත්වය තුළ දරුවන් අධ්‍යාපන ගැටළු, පෝෂණ ගැටළු, සුරක්ෂිතභාවය සම්බන්ධ ගැටළු  හා සෞඛ්‍ය ගැටළු වැනි ගැටළු රාශියකට මුහුණ දෙන අතර ඒ පිළිබඳව ප්‍රමාණවත් සංවාදයක් තවමත් ගොඩනැගී නොමැති බවක් පෙනී යයි. එනිසා මෙම දිනය ඉහත කී ගැටළු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත් ඒවා නොසලකා හැරීමට ඉඩ නොදී එම ගැටළු තුරන් කිරීමට ගත යුතු පියවර පිළිබඳව දැනුවත් කිරීමටත් යොදා ගැනීම වඩාත් කාලෝචිතය.

එමෙන්ම ලෝක ළමා දිනය යනු ඔබේ, මගේ දරුවාට පමණක් නොව අනෙකුත් දරුවන්ට ද ජීවිතය යහපත් කරදීමට කදිම අවස්ථාවකි. අඩු වරප්‍රසාද ලත් දරුවන්ගේ ජීවිතය යහපත් කිරීම සඳහා විවිධ පරිත්‍යාගයන් සිදුකරමින් තවත් කෙනෙකුගේ ජීවිතයක් වෙනස් කිරීමට අපට හැකිය.

ලෝක ළමා දිනය අපි සෑම කෙනෙකුටම ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට, ප්‍රවර්ධනය කිරීමට සහ සැමරීමටත් දරුවන් සඳහා වඩා හොඳ ලෝකයක් ගොඩනඟන සංවාදයන් සහ ක්‍රියාවන් සංවිධානය කිරීමටත් ප්‍රබෝධමත් ප්‍රවේශයක් ලබා දේ. නමුත් ළමා දිනය සැමරීම එක් දිනකට සීමා නොකර, නිරන්තරයෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳව සමාජය දැනුවත් කිරීම හා ඒ වෙනුවෙන් පෙනී සිටීම ද අප සැමගේ යුතුකම මෙන්ම වගකීමකි.

End of content!!!