iStock 1214281726

සාහිත්‍ය මාසයෙන් පසු එළඹෙන ඔක්තෝම්බර්  මාසය “ජාතික කියවීමේ මාසය” බව බොහෝ දෙනෙකු නොදන්නා හෝ නොසලකා හරිනා කරුණකි. සාහිත්‍ය මාසය තුළදී රාජ්‍ය සාහිත්‍ය උළෙල ඇතුළු සම්මාන උළෙලවල් මෙන්ම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආදී විවිධාංග රැසක් ක්‍රියාත්මක කෙරුන ද කියවීමේ මාසය වෙනුවෙන් එලෙස ක්‍රියාත්මකවීමට රාජ්‍ය හෝ පෞද්ගලික අංශවල එතරම් උනන්දුවක් නොමැති බව අපිට දක්නට ලැබේ.

සාහිත්‍යය මාසයේ සාහිත්‍ය හා සම්බන්ධ විවිධ ක්‍රියාකාරකම් රැසක් සිදුකෙරුනද කියවීමේ මාසයට අඩු සැලකිල්ලක් ලැබෙන්නේ ඇයි..?

2004 වසරේ සිට ඔක්තෝම්බර් මාසය “ජාතික කියවීමේ මාසය” ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර 2022 වර්ෂයේ අප මේ සමරනු ලබන්නේ එහි 18 වන සැමරුමයි.මෙවර එහි තේමාව වන්නේ ” දැනුමැති සමාජයක් උදෙසා කියවීම” යන්නයි.

කියවීම මෙතරම් වැදගත් වන්නේ ඇයි..?

මිනිසෙකු ඉපදීමෙන් පසු කාලයත් සමඟ වයසින් මෙන්ම දැනුමෙන්ම පරිණත විය යුතුය. කුඩා කල පටන් පොත පත කියවමින් දැනුමෙන් පෝෂණය වන දරුවෙකු අනාගතයේදී කායික, මානසික, සමාජීය මෙන්ම ආධ්‍යාත්මිකවද  පරිපූර්ණ වැඩිහිටියෙකු වන්නේ නිතැතිනි.
නමුත් තාක්ෂණික ලෝකයක් තුළ උපත ලද වත්මන් දරුවා විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක් ලබමින් හුදෙකලා වූත් තරගකාරී වූත්  ජීවන රටාවකට හුරු වී ඇත. එම ජීවන රටාවෙන් මඟහරවා සොඳුරු ලොවක් ඔවුන්ට දායාද කිරීමේ කර්තව්‍යයට පණ පෙවීම කියවීමේ පුරුද්ද මඟින් ඇති කල හැක. අවසානයේ එමඟින් බිහිවන්නේ පරිපූර්ණ ජාතියක් බව නොරහසකි.

ශ්‍රී ලංකාවේ බිහිවූ ශ්‍රේෂ්ඨ සාහිත්‍යධරයෙකු වන මාර්ටින් වික්‍රමසිංහයන් වරෙක පවසා ඇත්තේ උසස් විදුහලකින් හෝ පඬිවරයෙකුගෙන් උගත්කමක් නොලද තමා, ආසාවෙන් පොතපත කියැවීමෙන් දැනුම ලැබූ බවයි.
කියවීමෙන් ලැබෙන දැනුම මඟින් පරිණත වන පුද්ගලයෙකු තමා තුළ ඇතිකර ගන්නා ආධ්‍යාත්මික සංවර්ධනය, ජීවිත කාලයටම ඔහු හෝ ඇය තුළ පවතින ජීවන පුරුද්දක් බවට පත්වන්නේ නිරායාසයෙනි. එනම් කියවීමෙන් මිනිසා ඇසූ පිරූ තැන් ඇත්තෙකු මෙන්ම ජීවිතය උගත්තෙකු බවටද පත් වන්නේය. මන්ද යත් ගුරුවරයෙකු හෝ වැඩිහිටියෙකු විසින් කරුණු පවසා යමක් සඵථ කිරීමක් තරමටම හෝ ඊටත් වඩා, කියවීම තුළින් ස්වයං අවබෝධයෙන් වටහාගන්නා කරුණක් වඩාත් ඵලදායී ලෙස මනසේ ලැඟුම් ගන්නා බැවිනි.

වර්තමානයේ දී Ebook ආදී කියවීමේ නව නැඹුරුතාවයන් ඇති වීම ප්‍රශංසනීය වන අතර බොහෝ දෙනා ඒ වෙත යොමු වෙමින් සිටී. තාක්ෂණයේ දියුණුව සමඟ සිදුවන එම වෙනස්කම් වටින නමුත් එමඟින් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු පිළිබඳව ද අප සැලකිලිමත් විය යුතුය.

කියවන සමාජයක ඇරඹුම දරුවාගෙන් පටන් ගනිමු.

සාහිත්‍යය රසයක් නැත්තා මෙන්ම පොත පත නොකියවන්නා තමාට මෙන්ම අනුන්ටද විපත් කර ගනිමින් කල් ගෙවයි.
වර්තමානයේ බරපතළ සමාජ ගැටළු බවට පත්ව ඇති මිනී මැරුම්, සියදිවි නසාගැනීම්,සොරකම්, ස්ත‍්‍රී දූෂණ ආදියෙහි නිරත වෙන්නන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වැනි සමාජයටද බරක් වන පුද්ගලයන් බිහි නොකිරීමට නම් පාසල් කාලයේ පටන්ම දරුවන්ව භාෂාවට, සාහිත්‍යයට, කියවීමට මෙන්ම ලිවීමට ද මැනවින් හුරු පුරුදු කරවන අත්දැකීම් ලබාදිය යුතුය. ඒ සදහා සුදුසු පාසල් සංස්කෘතියක් ගොඩ නැගීමට අධ්‍යාපනය හා සම්බන්ධ බලධාරීන් සැලසුම් සකස් කල යුතුය.

කියවීම තුලින් දරුවන් නව වචන මාලාවක් මෙන්ම නව අදහස් ද ලබා ගනී. එනිසා නිතරම ඔහුව හෝ ඇයව කියවීමට නැඹුරුකල යුතුය. කියවන දේ තෝරා ගැනීමේ අවස්ථාව දරුවන්ට ලබා දිය යුතු නමුත් වයසට ගැලපෙන ලෙස එම තෝරා ගැනීම් කිරීමට ඔවුන්ව මෙහෙයවිය යුතුය. කතුවරයෙකුට තම අදහස් මත නිර්මාණයක සීමාවක් නොවූවද වර්තමානයේ රැල්ලට බිහිවන බහුතරයක් නිර්මාණයන් අතරින් දරුවාට පොතක් තෝරාදීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතුව ඇත.

උපන්දින වැනි දරුවාගේ ජීවිතයේ විශේෂ අවස්ථාවන්හීදී පොතක් ප්‍රධානය කල හැකි නම් එය දරුවෙකුට වටිනා තිළිණයක් වනු ඇත.කෙසේ නමුත් පවතින ආර්ථික තත්වය පිළිබඳව සලකා බැලීමේදී පොතක් වෙනුවෙන් මුදලක් වැය කිරීමේ යම් දුෂ්කරතාවයක්ද පවතී.

කියවීමේ මාසය – 2022

මෙම වසරේද ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලය කියවීමේ මාසය අරමුණු කර ගනිමින් විවිධ වැඩසටහන් සංවිධානය කිරීම අගය කල යුතුය. නමුත් එපමණකින් සෑහීමකට පත්විය නොහැක. රාජ්‍ය හා පෞද්ගලික අංශවල අවධානය ද මේ වෙත යොමු විය යුතුය. විශේෂයෙන්ම මාධ්‍යය ආයතන වලින් මේ සදහා විශේෂ මෙහෙයක් කල හැක.

රට තුළ ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන පුස්තකාල මඟින් ප්‍රජාවගේ කියවීමේ නැඹුරුව වැඩිකිරීම සිදු කරයි. එනිසා ඉතා විශාල සේවයක් ඉටු කරන පුස්තකාල පද්ධතිය දියුණු කිරීමට පියවර ගැනීම ඉතා වැදගත් ය.නමුත් පුස්තකාල මඟින් පමණක් මෙය සිදු කල හැකිද..? ශ්‍රී ලංකාවේ සෑම පාසලක්ම වාගේ තම ඇති හැකි මට්ටමෙන් පුස්තකාලයක් පවත්වාගෙන යමින් දරුවන්ගේ කියවීමේ රුචිකත්වය වැඩිකිරීමට කටයුතු කරනු ලබයි. සෑම දරුවෙකුටම පොතපත කියවීමේ සම අවස්ථාවක් ලැබෙන පරිදි පාසල් පුස්තකාල පොත පතින් පෝෂණය කිරීමට දායක වීමට අප කාටත් හැකිය.

තවද කියවීමේ මාසය අර්ථවත් කිරීමේ වගකීම ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපන පද්ධතිය කෙරෙහිම යොමු වන්නකි. පාසල් මඟින් ඒ කාර්‍යය ආරම්භ කරමින් විවිධ තරඟ,පුහුණු වැඩසටහන් මෙන්ම කියවීම් කඳවුරු, රසවින්දන වැඩසටහන් ආදිය සංවිධානය කිරීම කල හැක. මන්ද යත් පාසල යනු සාක්ෂරතාවය, විෂය කරුණු හා සම්බන්ද දැනුම මෙන්ම  සුන්දර මිනිසෙකු බිහි කිරීමට ජීවිතය සිත්තම් කරනා ප්‍රධාන ම තැනක් වන බැවිනි.
කෙසේ වුවද මාසයක් වෙන්කල පමණින් හොද සාහිත්‍යයක් හෝ හොද කියවන්නෙකු බිහිවන්නේ නැත. වසරකට එක් මාසයක් සාහිත්‍යය වෙනුවෙනුත් එක් මාසයක් කියවීම වෙනුවෙනුත් වෙන්කර උනන්දුවක් ඇති කිරීම යහපත් වුවද මෙහිදී පුද්ගලයන් තුළ ඒ සම්බන්ධ දීර්ඝකාලීන වෙනසක් හෝ මෙහෙයවීමක් ඇති නොවන්නේ නම් එම වෙන්කිරීමෙහි අර්ථයක් ඇත්දැයි සිතා බැලිය යුතුය. ඒ සදහා කල යුත්තේ සාහිත්‍යය මෙන්ම කියවීම කෙරෙහි ද පුද්ගලයාගේ රුචිකත්වයක් ඇතිකිරීමය. වැඩසටහන් ක්‍රියාත්මක  කල යුත්තේ එම රුචිකත්වය වර්ධනය කිරීමටය.එය කුඩා කල පටන් පුද්ගලයකු තුළ ඇති කල යුතු වටිනා දෙයකි.

.

End of content!!!