
දශක හතකට වඩා වැඩි කලක් හෝමාගම කලාපයේ, කොස්ගම ප්‍රදේශයේ දරු දැරියන් හට සිප් සතර බෙදා දුන් සොඳුරු තක්සලාව, බප/හෝ/කොස්ගම මහා විද්‍යාලය පසුගිය සැප්තැම්බර් මස 19 වන දින සිට නවමු ගමන් මඟක් අරඹමින් “විද්‍යාර්ථ විද්‍යාලය” ලෙස අභිසෙස් ලබන ලදී.
පාසලේ වත්මන් නියමුවානන් වන දිලංක කුමාරප්පෙරුම විදුහල්පතිතුමන්ගේ සංකල්පයකට අනුව, පාසල “එන්න හිතෙන ඉස්කෝලයක්” බවට මෙහෙයවමින් පවතින සමයක, පාසලේ නාමය “විද්‍යාර්ථ විද්‍යාලය” ලෙස වෙනස් කිරීම, නව පාසල් දැක්ම හා මෙහෙවර එළිදැක්වීම, නව පාසල් ගීතය එළිදැක්වීම සහ පාසල් වෙබ් අඩවිය නිළ වශයෙන් ආරම්භ කිරීම මෙදින සිදු කරන ලදී.
හෝමාගම කලාප අධ්‍යාපන අධ්යක්ෂ ජයන්තා රූපසිංහ මහත්මිය ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම නව්යාරම්භ උත්සවය, පාසල් දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලද නානුමුරය, රෑකඩ සහ යක්ඛ නර්තන ආදී විචිත්‍රවත් නර්තනාංග සහ සංගීතාංගයන්ගෙන් වර්ණවත් වී පැවතුණි.











